(රවී වික්‍රමාරච්චි)

“සංවර්ධනයේ ඉදිරි ගමනේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් නව දැක්මත් තුළින් ජනහිතකාමී චින්තනයක් තුළ රටට අලුත් අරම්භයක් ලබාදීමට කටයුතු කරන මොහොතේ අධිරාජ්‍යවාදීන් සුනු විසුනු කළ ඌව වෙල්ලසින් මේ ගමන ආරම්භ කිරිමට ලැබීම ගැන සතුටු වෙනවා.යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ (12) දින බදුල්ලේ පැවැති එක්සත් ජාතික පක්ෂ රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

රටක් පාලනය කිරීමේදී රටට සීඝ්‍ර ගමනක් දියත් කිරිමේ කාර්ය ඉටුකළ හැක්කේ ගජමිතුරු කල්ලියකට නොව දක්ෂ, හැකියාවන් ඇති,වෘත්තියෙන් පරිපූර්ණ වූ, නව නිර්මාණ තුළින් රට සීග්‍ර සංවර්ධන රටාවක් ක්‍රියාත්මක කළ හැකි දක්ෂයාට තැන දෙන අවස්ථාවකට බව ද පැවසිය.

“මට අවුරුදු 52යි. මම මැරෙන්න බය නෑ. මම ජනතාව අතරයි ඉන්නේ. මම ජනතාව අතරින්ම තමයි නොවැම්බර් මාසේ යන්න ඕන තැනට යන්නේ. ‘‘
තම පියා ජනතාව වෙනුවෙන් ජීවිතය පුජා කළ සේම තමන්ද ජනතාවට වෙනුවෙන් ජිවිතය පරිත්‍යාග කිරීමට සුදානම් බවත් ඔහු පැවසීය.
ජනතාවගේ සහයෝගයෙන් ඉදිරි නොවැම්බර් මාසයේදි තමන් යා යුතු ඉහළම තැනට යන බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

“තරුණ පරපුරට නායකත්වය ලබාදී මේ රටේ ඉදිරි ගමන තරුණ පරපුරේ ගමන බවට පත්කරනවා. අපි රටක් ලෙස දියුණු වන්නට නම් නව නිර්මාණවලට නව අදහස්වලට, උසස් තාක්ෂණයට අපි මුල්තැන දෙන්න ඕන.
ඇමෙරිකාවේ සිලිකොන් වැලි යන මෘදුකාංග කේන්ද්‍රකරගත් කර්මාන්ත භූමි බිහිකරන්න පුළුවන් නම් ඇයි අපිට සිලිකොන් වැලි නිර්මාණය කරන්න බැරි.”

“පහුගිය අවුරුදු 15 දිහාම බැලූ විට අප විමතියට පත්වෙනවා.ජාතික ආදායමෙන් 54%ක් භුක්ති විද්නනේ රටේ ඉන්න පෝසත්ම 20%, රටේ ඉන්න දුප්පත්ම 20% භුක්ති විදින්නේ 4%ක් වැනි සොච්චමක්. මේ ක්‍රමය වැරදියි. මේ ක්‍රමය අමානුෂීයයි.
මේ ක්‍රමය සහමුලින්ම අවසන් කර පුරවැසියන් ලක්ෂ 220 ජයග්‍රහණය කළ හැකි ක්‍රමයක් අපි නිර්මාණය කරනවා. අපිට අලුත් ගමනක් යන්න වෙනවා. අපි විප්ලවීය වෙනසක් බලාපොරොත්තු වෙනවා.”

“විප්ලවීය වෙනසක් ක්‍රියාත්මක කිරීමේදී සම්ප්‍රදායික ක්‍රමයට කොටු නොවී අලුතින් සිතා රාමුවෙන් පිට පැනලා අලුත් ගමනක් තුළින් ජන ජිවිතය සුඛිත මුදිත කරන්නට සිදුව තිබෙනවා.
ගතානුගතික යල්පැනගිය වසර 60-70 තුළ ක්‍රියාත්මක වුණ අසාර්ථක ක්‍රමය වෙනස් කර හදවතට දැනෙන අලුත් මාතෘභූමියක් අපි නිර්මාණය කරනවා.”
“ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අප ඇප කැප වෙනවා. ජාතික ආරක්ෂාව කියන්නේ මිල්ටරි ආරක්ෂාව පමණක් නෙමෙයි. දේශපාලන, ආර්ථික, සමාජ ආරක්ෂාව තහවුරු කරන්න ඕන. රණවිරු පරපුරේ අභිමානය සුරකීමට කටයුතු කරනවා.
ආර්ථිකය දුර්වල වූ තැන ජාතික ආරක්ෂාව කෙලෙසනවා. දේශපාලන ආරක්ෂාව නැතිවූ තැන රට ව්‍යවසනයකට යනවා. බදු බරෙන් අපි මධ්‍යම පන්තිකයා මුදවන්න ඕන.”

“අද රටේ බහුතරයකට ජීවත්වෙන්න අමාරුයි. මේ දේ අපි කනපිට හරවන්න ඕන. සෑම පුරවැසියෙක්ම ගොඩ ගන්න නවීන ආර්ථික ක්‍රමයක් අපි මේ රටේ බිහිකරනවා.
දස රාජ ධර්ම කේන්ද්‍ර කරගෙන අපි රට පාලනය කරනවා. රටට අහිතකර කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ.
අපේ රාජ්‍ය පාලනය තුළ අපි මනුස්සකමට මුල්තැන දෙනවා. අපි ශක්තිමක් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරනවා. සමහරු හිතනවා අපි දුර්වලයි කියලා.මේ එක දුර්වලතාවක් තිබෙනවා. ඒක රටට හෙළි කරන්නම්.” යනුවෙන් සජිත් ප්‍රේමදාස රැළිය අමතමින් පැවසීය.
විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් මෙම රැළිය සංවිධානය කළ අතර නි:අමාත්‍ය සුජීව සේනසිංහ ,සහ අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා, මෙන්ම රන්ජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාද මෙම රැළියට එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here