(රවී වික්‍රමාරච්චි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව)සිය ජනපති අපේක්ෂකයා ඊයේ (11) දින නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර ඊයේ (11) මාධ්‍යට පවසා ඇත.

පොහොට්ටුව පක්‍ෂයට අවශ්‍ය වුණේ ශ්‍රීලනිපය එතැනට තල්ලු කිරීමට යැයි ද මහලේකම් වරයා පවසයි.
මේ අතර ජනාධිපතිවරයා ශ්‍රීලනිප යෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ අතිබහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී ඇතැයි ද චෝදනා කරයි.

ඊයේ උත්සවයට පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකොට මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනා පත් යැවීම සදාචාරසම්පන්න නොවන්නේ යැයි ද එසේම පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා පක්ෂය පාවා දීම ලංකාවේ දේශපාලනයේ ලක්ෂණයක් යැයි කී හෙතෙම බඩගෝස්තරවාදයට වැටුණු දේශපාලකයන් සම්බන්ධයෙන් ඊළඟ මහමැතිවරණයේදී ජනතාව තීරණයක් ගනු ඇතැයි ද මහලේකම් වරයා පවසයි.

එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා යන දේශපාලකයන් ශ්‍රී.ල.නි.පය නියෝජනය කළ ද ඔවුන් ක්‍රියාමාර්ග තේරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වමින් බවත් කුමන පුද්ගලයෙකු පක්ෂය පාවා දුන්නත් පක්ෂ සංවිධායකවරුන් 160 ක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1100 ක් සමග පාක්ෂිකයන් හා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙන යන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here