(රවී වික්‍රමාරච්චි)
19 වැනි සංශෝධනය මගින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට නැවත වරක් ජනාධිපතිවරණයකට තරග කිරීමට ව්‍යවස්ථානුකූලමය වශයෙන් බාධාවක් මතුවිය. එසේ නොවුනේ නම් ඉදිරි ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් පවසයි. කෙසේ හෝ ඇති වාතාවරණය මත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නම් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන විශාල පිරිසක් දිගින් දිගටම කියා සිටියේය.

ඇතැමුන් පවසන්නේ සජිත් ප්‍රේමදාස එජාපයෙන් අපේක්ෂකත්වය ඉල්ලන අකාරයටම ගෝඨාභය රාජපක්‍ෂටද සිය පවුලෙන් අපේක්ෂකත්වය ලබා ගැනීමට සිදු වූ බවයි. එනම් අපේක්ෂකත්වය ලබා නොදී සිටීමට නොහැකි තත්වයක් සිය පාක්‍ෂිකයන් හා පක්‍ෂයේ ප්‍රධාන නායකයින් නොවන පසු පෙළ නායකයින් ගෙන් නිර්මාණය කිරීමයි.

එයට සාක්‍ෂි සපයමින් ජනාධිපති මැතිවරණයක් කතාබහ වන මුල් අවස්ථාවේ දීම එනම් තමා ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සූදානම් බවට දේශපාලනික වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පළමු වරට ඉඟියක් පළ කළේ පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය අමතමිනි. බොහෝ දෙනා පවසන්නේ එම ප්‍රහාරයේ කම්පනය උපයෝගී කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ එම අවස්තාව බලෙන් උදා කර ගත් බවයි. මෙම ප්‍රකාශයත් සමඟ උදා වූ තත්වයන් මත මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මුල් පෙළ නායකයින්ට වෙනත් කෙනෙකුන් ජනාධිපතිවරණයට නම් කිරීමට සදාචාරාත්මක ක්‍රමයක් නොතිබීම ඔවුන්ට පැවසීමට නොහැකි සත්‍යයි.
තවත් දින කිහිපයකින් එජාපයේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මුල් පෙළ නායකයින්ටද සිදුවන්නේ මෙවැනිම තත්වයකි. එනම් සජිත් ප්‍රේමදාස රට තුළ වපුරා ඇති ජනාධිපති අපේක්ෂක බීජය ගලවා දැමිය නොහැකි තත්වයට පත්වනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ නම් කරන බව විපක්ෂ නායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති එම පක්ෂ සම්මේලනයේදී නිවේදනය කළේය.

පරිපාලන වශයෙන් තම රාජකාරි කිරීමේදී සිමාවලට කොටු නොවී සම්මතයෙන් ඔබ්බට යමින් වගකීම ඉටු කළ බවත්, ඉදිරියේදීත් ජනතාව වෙනුවෙන් එපරිද්දෙන්ම කැප වන බවත්, සියලු ජන කොටස්වලට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සම්මේලනයේදී ජනාධිපති ධූර අපේක්ෂකත්වය බාරගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here