(රවී වික්‍රමාරච්චි)
පොහොට්ටුවේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර නියෝග කළේය.

නගරාධිපතිවරයා මෝසමක් මඟින් අද (9) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ අධිකරණය මඟහැරියේ යැයි වරෙන්තු නිකුත් කර තිබිය දිය.

පිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බිය ගන්වා මුදල් කොල්ලකෑවේ යැයි චෝදනා එල්ල වී ඇත. කුරුණෑගල මහාධිකරණයේ විභාග වන නඩුවේ පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව විභාග වන අතර නගරාධිපති තුෂාර සංජීව එහි පළමුවැනි විත්තිකරු ලෙස නීතිපතිවරයා විසින් නම්කර තිබේ.

මෙම නඩුව පසුගිය 25 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදි නගරාධිපතිවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විනිසුරුවරිය වරෙන්තු නිකුත් කළේය.

එදින ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ නගරාධිපතිවරයා කොරියානු රජයේ ආරාධනාවකට අනුව කොරියාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වීම හේතුවෙන් මෙදින නඩු වාරයට ඉදිරිපත් වීමට නොහැකි වූ බව පැවසීය.

ඒ අනුව අද දින සැප්තැම්බර් 17 වැනිදා නඩුව යළි විභාගයට ගැනීමට නියම කර තිබියදී නගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here