එ.ජා.පයේ හා පොහොට්ටුවේ අර්බුද – ටිල්වින්

0
175

(දිල්හාන් විමල්ක)

ඉදිරි ජනාධිපතිවරණය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අභ්‍යන්තර අර්බුද රැසකට මුහුණපා ඇති බව ජාතික ජන බල වේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එ.ජා.ප ය මේවනවිට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සන්ධානගතව තම ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා සාකච්ජා වට රාශියක් පවත්වා තිබියදීත් ඔවුන්ට තවමත් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇතැයිද ඔහු පැවසීය.

හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේ බත්තරමුල්ලේදී ජාතික ජන බල වේගය විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමින්ය. මෙම අවස්තාව සඳහා එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක,ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ,අලුත් පරපුර සංවිධානය නියෝජනය කරමින් රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජන නියමු කලා සංගමයේ ලේඛක කිර්ති වැලිසරගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී විය.

එ.ජා.ප ය අවසානයේදී තම පක්ෂයට වැඩි වාසියක් වන අයුරින් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත්, ඉන් අනතුරුව ඔවුන් සමඟ එක්ව සන්ධානගතවී සිටින ඇතැම් දේශපාලන පාර්ශවයන් ඒ හේතුවෙන් අපහසුතාවටට පත්වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ පිල සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර තිබුනද තවමත් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභයට හිමි තැන ලබා දීමට ඉඩ නොදෙන බවත්, ඔහුට මහින්ද රාජපක්ෂගේ සෙවනේ සිටින ගෝලයකු සේ සිටීමට සිදුව ඇති බවද ජ.වි.පෙ ලේකම්වරයා පැවසිය.

එවැනි තත්වයක් තුළ මේ රටේ සිවිල් සංවිධාන,බහු ජන සංවිධාන,දේශපාලන පක්ෂ හා කණ්ඩායම්, කලා කරුවන් හා විද්වතුන් ඇතුළු තවත් සංවිධාන රැසක් එක්ව පිහිටුවාගත් ජාතික ජන බල වේගය විසින් රටට මේ මොහොතේ අවශ්‍ය පැහැදිලි ජනාධිපති අපේක්ෂකයකු ලෙස අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර ඇති බවත් පැවසු හෙතෙම තම අපේක්ෂකයා රටේ ජනතාව විසින් දිනවනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බවද කීය.

ජාතික ජන බල වේගයේ අරමුණ ජයග්‍රහණය පමණක් බවත්, තම ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කළේ පුළුල් අරමුණකින් මිස පටු දේශපාලන අරමුණකින් නොවන බවත් පැවසු ඒ මහතා අනාගතයේ මොනයම් හෝ හේතුවක් මත තම අපේක්ෂකයා ඉවත් වීමට හෝ ඉල්ලා අස්වීමට කටයුතු නොකරන බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here