(දිල්හාන් විමල්ක)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වන අලි සංගණනය කල් දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ලංකාවේ ජිවත්වන වන අලි ප්‍රමාණය සංගණනය කිරීම සඳහා අලි-ඇතුන් ගැවසෙන ජල මූලාශ්‍ර මූලික කරගනිමින් සැප්තැම්බර් 13 සිට 15 දක්වා මෙම සංගණනය පැවැත්වීමට සැලසුම් කර තිබුනද එය පවතින කාලගුණ තත්ත්වය හමුවේ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව නොහැකිවනු ඇති බවට මීට පෙර අවස්ථා දෙකකදී අප ‘colombo trust’ වෙබ් අඩවිය මගින් වාර්තා කළේය.

කෙසේ වෙතත් අයහපත් කාලගුණ තත්ත්වය පහව ගිය පසු වන අලි සංගණන කටයුතු යලි ආරම්භකිරීමට පියවර ගන්නා බවත්, මෙම සංගණනය හේතුවෙන් ලබන සැප්තැම්බර් 13 සිට 15 දක්වා කාලය තුළ වසා දැමීමට තීරණය කර තිබූ සියලුම අභය භුමි, ජාතික උද්‍යාන හා එහි සංචාරක බංගලා සහා නිකේතන සියල්ල විවෘත වන බව එම දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එම්.ජී.සී සුරියබණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම සංගණනය වන අලින් වෙසෙන ලංකාවේ සියලු වනජීවී කාර්යාල නිලධාරීන් හා ප්‍රජා දායකත්වය මත මෙම කටයුත්ත කිරීමට සැලසුම් කර තිබුණු අතර මෙහිදී වන අලින් පිළිබඳව විද්‍යාත්මකව විශ්ලේෂණයක්ද, වන අලින්ගේ පැතිරීම , ගහන ගණත්වය, වයස් සීමාවන්, වැඩි මහලු, තරුණ, ළමා, ළදරු වයස් සීමාවන් වශයෙන් හා ගැහැණු පිරිමි සම්බන්ධයෙන් විශ්ලේෂණය හා ඊට අමතරව වන අලින්ගේ පැවැත්ම, පෝෂණ තත්වය සහා සතුන්ගේ වාස භූමි සම්බන්ධයෙන් විශේෂ අවධානයකට ලක් කිරීමට නියමිතව තිබුණි.

සැප්තැම්බර් 03වන දින අප පල කළ පුවත

අලි සංගණනය කල් යයි !

ජාතික අලි සංගණනය කල් දැමීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.
මීට අදාළ සාකච්ඡාවක් හෙට (04) පැවැත්වීමට නියමිත අතර, එහිදී අවසාන තීරණය ගැනීමට නියමිත ය. අලි-ඇතුන් ගැවසෙන ජල මූලාශ්‍ර මූලික කරගනිමින් සැප්තැම්බර් 13 සිට 15 දක්වා මෙම සංගණනය පැවැත්වීමට සැලසුම් කෙරිණි. එහෙත් මේ වනවිට මාදුරුඔය ඇතුළු වනෝද්‍යාන සීමිත ප්‍රමාණයකට හැර, අනෙක් සියලු වනෝද්‍යාන ආශ්‍රිත ප්‍රදේශ වලට අධික වර්ෂාවක් ලැබේ. වර්ෂා කාලයේදී වනෝද්‍යාන ඇතුළත ජලය රැඳෙන නිසා අලි-ඇතුන් ජල මූලාශ්‍ර වෙත පැමිණීම අඩු වේ. එම නිසා ජල මූලාශ්‍ර මූලික කරගනිමින් මේ සංගණනය පැවැත්වීම අතිශය අසාර්ථක වනු ඇතැයි ‘කලම්බු ට්‍රස්ට්‘ වෙබ් අඩවිය මගින්ද පෙන්වා දෙන ලදි.
එහෙත් මීට පෙර පැවැති සාකච්ඡාවකදී වනජීවි ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසා තිබුණේ කුමන තත්ත්වයක් මත හෝ අලි සංගණනය කල් දැමිය නොහැකි බවයි.

අගෝස්තු 21 දින අප පළ කළ පුවත

ඇමැතිගේ හදිස්සියට අලි සංගණනය හේදෙයි !

ජාතික අලි සංගණනය ලබන 13 සිට 15 දක්වා පැවැත්වීමට නියමිත ය.
ලෝක බැංකුවේ සෘජු ආධාර යටතේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙය මෙහෙයවයි. වැස්ස නැති කාලයේදී අලි-ඇතුන් ජලය සොයා යන ස්ථාන ඉලක්ක කරගෙන මේ සංගණනය පැවැත්වීමට සැලසුම් කර තිබිණි. එහෙත් මේ දිනවල වනෝද්‍යාන රැසක් ආශ්‍රිතව වැස්ස පවතින නිසා, සංගණනය අසාර්ථක වීමට වැඩි ඉඩක් ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. එම නිසා අදාළ ආධාර මුදල අපතේ නොයවමින්, සාර්ථක සංගණනයක් කිරීම සදහා මෙය වැස්ස අඩු වන තුරු කල් දමන ලෙස ඔවුහු දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට අවධාරණය කර ඇත.
එහෙත් වනජීවී ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා උපදෙස් දී ඇත්තේ ලෝක බැංකුවේ අදාළ ආධාර ලබාගෙන, හැකි ඉක්මනින් සංගණනය අවසන් කරන ලෙසත්, කිසිදු හේතුවක් මත එය කල් නොදමන ලෙසත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here