විවාහ – දික්කසාද පනත අලුත් කරන්න මුස්ලිම් කාන්තාවෝ පෙරට එයි

0
872

(දිල්හාන් විමල්ක / රුෂාන් කොඩිකාර)

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, අධිකරණ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රජය මෙහි වගකීම භාරගෙන එම පනතේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රායෝගික කරමින් ඉදිරියට ගෙන යන ලෙසත් මුස්ලිම් කාන්තා සංවිධාන රජයෙන් ඉල්ලීමක් කරයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ප්‍රතිසංස්කරණය කිරීමට අපොහොසත් වීමෙන් වඩාත් අගතියට පත්ව සිටින්නේ මුස්ලිම් කාන්තාවන් හා ගැහැණු දරුවන් බවත්, ඒ මඟින් මෙරට මුස්ලිම් කාන්තාවන් අත්විඳින අගෞරවය, ප්‍රචණ්ඩත්වය මේ වන විට ගැඹුරින් මුල්බැසගත් සංස්කෘතියක් එම සමාජ වපසරියන් තුළ නිර්මාණය වී ඇති බවද එම කාන්තා සංවිධාන පවසයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ප්‍රතිසංස්කරණය පිළිබඳව මුස්ලිම් කාන්තාවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (26) මුස්ලිම් කාන්තා සංවිධානවල එකතුවකින් පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී එම සංවිධානවල නියෝජිතයින් විසින් මෙම ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.

මේ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක සහ හිටපු ඇමතිවරියක වන ෆේරියල් අෂ්රොෆ්, මුස්ලිම් නීති ප්‍රතිසංස්කරණය සඳහා වූ ක්‍රියාකාරී කණ්ඩායම නියෝජනය කරමින් නීතිඥ අර්මිසා ටෙගාල්, නීතිඥ සෆානා ගුල් බෙගම්, ඉස්ලාමීය කාන්තාවන් සවිබල ගැන්වීමේ සංවිධානය නියෝජනය කරමින් අනිෂා ෆර්තව්ස් සහ මුස්ලිම් කාන්තා සංවර්ධන පදනම නියෝජනය කරමින් ජුවයිරියා මොහිදීන් මෙහිදී අදහස් දැක්වීය.

“මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය ගොඩනගා තිඛෙන්නේ දෙවියන් වහන්සේ විසින් නොවේ, මිනිසුන් විසින්. එමනිසා එම නීතිය වෙනස් කිරීමටත් හැකියාව තිඛෙන්නේ මිනිසුන් වන අපට. සියලු මුස්ලිම් කාන්තාවන්ගේ හා ළමුන්ගේ අයිතිවාසිකම්වලට සාධාරණයක් වන ලෙස සහ පිරිමි හා ගැහැණු දෙපිරිසේ අයිතිවාසිකම් අතර සමානාත්මතාවයක් පවතින ලෙස මෙම නීති සංශෝධනය කළ යුතුයි.

විශේෂයෙන්ම අප මේ ඉදිරිපත් කරන්නාවූ නිර්දේශ සඳහා 2019 ජුලි 11වන දින පාර්ලිමේන්තුවේ සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් එකගවුණා. නමුත් යම් ගතානුගතික අදහස් දරන කණ්ඩායම් කිහිපයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මුල් ස්ථාවරය වෙනස් කිරීමට හා ප්‍රතිසංස්කරණය අඩපණ කිරීමට උත්සාහ දරනවා. මුස්ලිම් කාන්තාවන් ලෙස අප මෙහි රැස්වී ඉල්ලා සිටින්නේ ඒ පසුගාමී උත්සාහයන් පරාජය කර මුස්ලිම් සමාජයට වඩා යහපත් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට අප ගන්නා මේ උත්සාහයට පොදු සමාජය ලෙස ඔබ සියලු දෙනාගේ අවධානය සහ සහයෝගය ලබාදෙන ලෙස.”

මුස්ලිම් කාන්තාවන්ට අදාලව දික්කසාද පනත ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටින්නේ වර්තමානයෙහි පවතින පනතට අනුව මුස්ලිම් කාන්තාවන්ට බරපතල අසාධාරණයන් සිදුවන බවට බොහෝ සාක්ෂි පවතින බවත්, බිඳුණු පවුල් හා එම පවුල්වල කාන්තාවන්ට සහ දරුවන්ට ඔවුන්ගේ ගෞරවය අහිමි කිරීම මෙන්ම ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීම වර්තමානයේ දක්නට ලැබෙන ප්‍රතිපලයන් බවත් ඔවුන් පෙන්වාදේ. තවද එම පීඩාකාරී ක්‍රියාවන් සියල්ල ෂරියා අරමුණුවලට හා එම නීතියේ මුලධර්මයන්ට පටහැනි ඒවා බවටද ඔවුන්ගේ අදහසයි.

දික්කසාද සම්බන්ධයෙන් කාන්තාවන් සහ පිරිමින් දෙපිරිසටම මුහුණදීමට ඇති කොන්දේසි සමාන කිරීම, සියලු මුස්ලිම්වරුන්ගේ අවම විවාහ වයස වයස අවුරුදු 18ක් විය යුතු වීම, විවාහය නීත්‍යානුකූලව වලංගු කිරීම සඳහා ලියාපදිංචිය අනිවාර්ය කිරීම, බහු විවාහය සඳහා අවසර දීම සුවිශේෂී තත්ත්වයන් මත – සාධාරණ හේතුවක් සහිතව හා මූල්‍ය හැකියාව මත මෙන්ම සියලු පාර්ශවයන්ගේ කැමැත්ත සහ අධිකරණයේ අවසරය ඇතුළුව නිශ්චිත කොන්දේසි යටතේ පමණක් වීම යන කාරණා ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් එම මුස්ලිම් කාන්තා සංවිධාන විසින් අපේක්ෂා කරනු ලබන මුස්ලිම් කාන්තාවන්ට අදාල ප්‍රතිසංස්කරණ ඉල්ලීම් අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here