(රවී වික්‍රමාරච්චි)
එංගලන්ත ක්‍රිකට් පිළ ලබන වසරේ මාර්තු මාසයේ ටෙස්ට් චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර අයි.සී.සී. ක්‍රිකට් කමිටු සාමාජික කුමාර් සංගක්කාර පෙන්වා දී ඇත්තේ එංගලන්ත පිළේ සංචාරයට ආරක්ෂාවේ බාධාවක් ලංකාව තුළ නොමැති බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක වාතාවරණය පිළිබදව සාකච්ඡාවක් කර තිබෙන අතර එය සිදුකර ඇත්තේ, එංගලන්ත ක්‍රිකට් පාලන මණ්ඩලය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නියාමකයෙකු ලෙස සැලකෙන ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගත් එම්.සී.සී. ක්‍රිකට් සමාජය විසිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නව ප්‍රධාන විධායක මනු ස්වනේ (Manu Sawhney) සමඟ පැවති හමුවෙන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකාවේ මෙන්ම පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ ආරක්ෂක වාතාවරණය සලකා බැලු බව ද සඳහන් වෙයි.

එම්.සී.සී ආයතනය මෙලෙස මෙරට ආරක්ෂක වාතාවරණය සලකා බැලීමට එක් හේතුවක් වුයේ ලබන වසරේ මාර්තු මාසයේ ටෙස්ට් චාරිකාවක් සඳහා එංගලන්තය ශ්‍රී ලංකාවට පැමිණීමයි.

ඕනෑම රටක් තමන් සංචාරය කරන රටවල ආරක්ෂක තත්ත්වය ඇගයීමට සෑම රටකටම අයිතියක් ඇති බවත් මේ දක්වා එවැනි ගැටළුවලට සාර්ථක පිළිතුරු ලැබී ඇති බවත් සංගක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තුළ කළබල කාරී තත්ත්වයන් උපරිම මට්ටමෙන් පැවති අවස්ථාවල පවා මෙරට ක්‍රිකට් තරඟ බාධාවකින් තොරව පැවති බවත්, තමා ද එහිදී ක්‍රීඩාවේ නිරත වූ බවත් සංගක්කාර වැඩි දුරටත් පවසා ඇත.
මේ අතර ලෝක ක්‍රිකට් කමිටුවේ මීළඟ රැස්වීම ලබන වසරේදී (2020) ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here