(රවී වික්‍රමාරච්චි)
1982 ජනාධිපතිවරණෙදි මෙතැන රැස්වීමක් තිබුණා. මමත් පොඩි කාලෙදි ඒ රැස්වීම බලන්න ආවා. ඒ රැස්වීමෙ මුලසුනේ හිටියෙ අපේ ඉස්කෝලෙ සෞඛ්‍ය ගුරුතුමා වුණු පෙරේරා සර්. ඔහු අදත් මේ වේදිකාවෙ ඉන්නවා.”

ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ(08) සිය උපන් ගම වන තබුත්තේගම පැවති ජනපතිවරණ මංගල රැළියට එක්වෙමින් මේ අදහස් පළකළේය.

“ඒ වගේම මේ වේදිකාවේ සිටිය යුතු තවත් බොහෝ දෙනෙක් අද දකින්න නැහැ. අපේ පරම්පරාව මුහුණ දුන්නු ඛේදවාචකයන් හමුවේ ඔවුන් අපිව අත්හැර ගිහින් තිබෙනවා. යාල්දේවී දුම්රියේ පිපිරීමත් එක්ක මගේ පන්තියට ඉහළ පන්තියේ හිටපු සහෝදරයෙක්ගෙ සිරුර පළවෙනි මළ සිරුර විදිහට අපේ ගමට ආවා. එතැන සිට බොහෝ පිරිසක් අපිව අතහැරල ගියා.

ඒ වගේම අසූ හත – අසූ නමය කාලයේ එවකට පැවති පාලනයට එරෙහිව කරපු අරගලයෙදි මගේ සොහොයුරා ඇතුළුව තවත් විශාල ප‍්‍රමාණයක් අපිට අහිමි වුණා. ඒ නිසා මට මගේ ගම කියන්නෙ දේශපාලනයේ අමිහිරි අත්දැකීම් වගේම උකහා ගත යුතු අත්දැකීම් රැසක් ඉතිරි කරපු ගමක්. ඒ අත්දැකීම් දුන්න මේ ගමට අපි ආවෙ එක්දහස් නමසිය හැත්තෑ දෙකේ, මාසෙකට රුපියල් විස්සක කුලියකට මැටි ගෙදරකට.

එතැන සිට දශක ගණනාවක් මේ ප‍්‍රදේශයේ සෑම ගමකම, සෑම පාරකම අපි ඇවිදල තියෙනවා. ඒ පරම්පරාවන් මුහුණ දුන්නු අත්දැකීම් අපි ඇති තරම් අත්දැක තියෙනව. අපේ ගම්වල මිනිස්සු මිය ගියේ කොහොමද, අපේ දරුවන්ට අත් වුණු ඉරණම මොකක්ද කියන එක අපි දන්නවා. කවුද ඒ ජීවිතය අපිට උරුම කර දුන්නෙ?

මේ වේදිකාවෙ ඉන්න කවුරුත් මහජනයගෙ සතයක් හොරකම් කර නැහැ. ඒත් අනිත් පක්ෂ දෙකේ? වැලිකඩ බන්ධනාගාරයෙ ඉන්න ඕනෙ වැඩි දෙනෙක් ඒ වේදිකාවල ඉන්නව. ඔවුන්ගෙන් හොරකම නතර කරයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අපි ආණ්ඩුව ගත්තට පස්සෙ මාස දෙකක් ප‍්‍රකාශයට පත් කරනවා. ඒ මාස දෙක ඇතුළෙ තමන් හොරකම් කරපු දේපොළ බාර දෙන්න අවස්ථාවක් දෙනවා. ඒ වෙනකොට බාර දුන්නෙ නැත්නම්, සහතික වශයෙන්ම ඒ දේපොළ පවරා ගන්නවා.
දෙවෙනි එක තමයි, අපි පාලකයන්ගෙ නාස්තිය අඩු කරනවා. ජනාධිපතිවරයෙක් නඩත්තු කරන්න මොන තරම් වියදමක් කරනවද?

අපි අපේ අමාත්‍යාංශයට යනකොට මිල්කෝ ආයතනයට රුපියල් මිලියන පනහක බැංකු අයිරාවක් තිබුණා. ඒත් අපි එළියට එනකොට මාස දහ හතරක් ඇතුළත රුපියල් මිලියන දෙසීයක ස්ථාවර තැන්පතුවක් හදන්න පුළුවන් වුණා. කිරි ගොවියන්ට අපි බෝනස් එකකුත් දුන්නා. ඒත් දැන් නැවතත් ගොවියන්ට විකුණපු කිරිවලට මුදල් ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා.

අද අපි මුහුණ දීල තියෙන ප‍්‍රධානම ගැටලූවක් තමයි ග‍්‍රාමීය දුප්පත්කම. මෙතන ඉන්නවද කවරුහරි, කොතෙන්ටවත් ණය නැති කෙනෙක්? බැංකුවලට ණයයි. ගමේ පොලී මුදලාලිට ණයයි. වී කඬේට ණයයි. බඩු ගන්න කඬේට ණයයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ණයයි. ඒ විතරක් නෙමෙයි, ගමේ මරණාධාර සමිතියටත් ණයයි. අපි අපේ පාලනයක් ඇතුළෙ, ගමේ තියෙන ඒ දුප්පත්භාවය නැති කරන්න ප‍්‍රමුඛ සැලස්මක් ක‍්‍රියාත්මක කරනවා.
එදා කිසිම වියදමක් නැතුව හදා ගත්ත බීජ වෙනුවට ගොවියෙකුට කෘෂිකර්මාන්තයෙ වියදමෙන් සියයට විස්සක් විතර බීජ වෙනුවෙන් වැය කරන්න වෙලා. ඉස්සර ස්වභාවිකව හැදුණු තුඹ කරවිල බීජ පවා කඩෙන් ගේන්න වෙලා තියෙනවා. බීජ ගේන්න විතරක් නෙමෙයි, තුඹ කරවිල වැල්වල මල් හැදෙනකොට පාන්දර හතරට නැගිටල ගිහින් පිනි හිඳෙන්න කලින් ඒව පරාගණය කරන්නත් වෙලා. ඒ කියන්නෙ ස්වභාවික පරාගණයත් අහිමි වෙලා.

අපිට හොඳම මිරිස් ඇට දුන්නෙ මහඉල්ප්පල්ලම ගොවිපොල. දිගම මිරිස් කරල් වලට ඕනෙ බීජ දුන්නෙ මහඉලූප්පල්ලම ගොවිපොලෙන්. ගොවිපොලවල් ටිකත් අද වෙනකොට විකුණලා. චීන ගොවිපොල සීඅයිසී සමාගමට විකුණුවා. ගල්නෑව ගොවිපොලත් සීඅයිසී සමාගමට විකුණුවා. අක්කර දෙදහස් අටසීයක කුඹුරු යායක් එක්ක හිඟුරක්ගොඩ වී ගොවිපොල තිබුණා. ඒකෙන් තමයි වී වගාවට ඕනෙ කරන බීජ ටික ලැබුණෙ. ඒකත් සීඅයිසී එකට විකුණුවා. අපේ බීජ ගොවිපොලවල්, අපේ බීජ පර්යේෂණායතන මේ විදිහට විකුණල, ගොවීන්ට ඔවුන්ගේ බීජ මත යැපෙන්න වෙන තත්ත්වයක් ඇති කළා.
ඊළඟ ප‍්‍රශ්නය තමයි වතුර. මහවැලි ව්‍යාපාරය හදනකොට අපිට කිවුවෙ කන්න තුනක් වගා කරන්න පුළුවන් කියල. මහවැලි ව්‍යාපාරය කියල මේ රටේ වැව් ටික විනාශ කළා. මේක වැව් බැඳ රාජ්‍යය. වැව් තිස් දෙදාහක් තිබුණා. ඒකෙන් අද ඉතිරි වෙලා තියෙන්නෙ වැව් දා හතර දාහයි.
රට මැද ඉඳල ගලන ගංගා එකසිය තුනක් තියනෙ, මෝසම් දෙකක වර්ෂාපතනයක් තියෙන රටක වැව් බැඳ රාජ්‍යයේ අපි කවදාවත් හිතුවද සල්ලි වලට වතුර බොන්න වෙයි කියල? බඹයක් පොළව කපනකොට අඩි තුනක් වතුර පිරුණ පළාතක් මේක. අද මොකද වෙලා තියෙන්නෙ? ඒත් අද වැඩිපුරම වතුර කඩ තියෙන්නෙ රජරට. බොන්න වතුර ටික ගේන්න කඩවල් ගානෙ යන්න වෙලා. එහෙම නැත්තනම් වතුර ලොරිය එනකම් බලන් ඉන්න වෙලා. වගා කරන්න වතුර ටික නැතුව, බොන්න වතුර ටික නැතුව බලන් ඉන්න එක වෙනුවට මේ ජනතාවට ගැටලූවක් නැතුව වතුර ටික ලබා දෙන වැඩපිළිවෙලක් අපි ක‍්‍රියාත්මක කරනවා. මේ වැව් පද්ධතිය අපි නැවත පුරවනවා.”
මෙම රැළියේ කථිකයන් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, නීතිඥ උපුල් කුමරප්පෙරුම -(හෙට පිණිස නීතිඥයෝ සංවිධානය), ලාල් විජේනායක – (වාමාංශික එක්සත් පෙරමුණේ ප‍්‍රධාන ලේකම්), රංගන ශිල්පී ජගත් මනුවර්ණ සහබාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here