(දිල්හාන් විමල්ක)

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරඟ කරන මැතිවරණය මෙවර 2019 ජනාධිපතිවරණය බැවින් අපේක්ෂකයන් අතර තියුණු තරඟකාරී තත්ත්වයක් මැතිවරණ ප්‍රචාරක කාලය තුළ ඇතිවිය හැකි බව පැෆරල් සංවිධානය පෙන්වාදෙයි.

සමස්ත ප්‍රචාරක කාලය තුළ රටේ පළමු පුරවැසියා තෝරාගැනීමේදී නියමිත තනතුරේ ගෞරවය රැකෙන ලෙස කටයුතු කිරීමට අපේක්ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් ක්‍රියා කළ යුතුවඇති බව පවසන එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි අපේක්ෂකයන්හට එම කාලය තුළදී පිළිපැදිය යුතු කරුණු 10ක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන මෙන් ඉල්ලීමක් කරයි.
ඒම කරුණු මෙසේය.

  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරන ජනාධිපති මැතිවරණ පනත ඇතුළු ජනරජයේ සෙසු සියලු නීති උල්ලංඝණය නොකිරීම.
  2. මැතිවරණ ව්‍යාපාරය තුළ පොලිතින් භාවිතයෙන් බැහැරවීම හා පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම.
  3. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ සහ උපමාන ප්‍රකාරව කටයුතු කිරීම.
  4. මැතිවරණ ප්‍රවර්ධන කටයුතු පවත්වාගෙන යාමේදී කිසිදු නීති විරෝධී හෝ යුක්ති සහගත නොවන ක්‍රියාවක් සිදු නොකිරීම.
  5. ප්‍රචණ්ඩත්වය පිටු දැකීම.
  6. ඡන්දය ලබාගැනීමේ අරමුණෙන් මැතිවරණ දූෂණ කටයුතු හෝ ඡන්ද දායකයන්ට අල්ලස් ලබා දීමෙන් වැළකී සිටීම.
  7. ජනතා කැමැත්ත විෂයෙහි අයුතු බලපෑම් සිදුවන සියලු ක්‍රියාවන් වැළැක්වීම.
  8. වාර්ගික සහ ආගමික වෛරය පැතිරවීම සහ හෝ අනුබල දීම සිදු නොකිරීම.
  9. රාජ්‍ය බලය හෝ රාජ්‍ය දේපළ අයථා ලෙස මැතිවරණ ව්‍යාපාරයට භාවිත කිරීමෙන් වැළකී සිටීම.
  10. යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ පරමාර්ථයෙන් සෑම කල්හිම ක්‍රියාත්මකවීම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here