(සිසිර යාපා)

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණය මේ මොහොත වනවිට පවත්වනු ලබන බව කියවෙන්නේ ලබන නොවැම්බර් 16යි.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ලබන ඔක්තෝබර් 07 වෙනි දින උදෑසන 9 සිට 11 දක්වා නාම යෝජනා භාරගනු ලබන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම පිණිස එදින උදෑසන 9 සිට 11:30 දක්වා අවස්ථාව පවතී.

බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 19) සිට ඔක්තෝබර් 06 වෙනි දින දක්වා නාම යෝජනා සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි අතර, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අභිලාශය 20 දෙනෙකු පමණ මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

2019 නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති වරයා තෝරා ගැනෙයි.

මේ වන විට විවිධ පක්ෂ නියෝජනය කරමින් තිදෙනෙක් පමණක් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව නිවේදනය කර තිබේ. ඉන් පළමුවැන්නා වූයේ 2019 අගෝස්තු 11 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා නම් කළ ගෝඨාභය රාජපක්ෂය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ බව නිවේදනය කළේ එදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයක් අමතමිනි.ගෝඨාභය රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂ පාලන සමයේ  ආරක්ෂක අමාත්‍යංශ  ලේකම් ලෙස 2005 වසරේ සිට 2014 දක්වා කටයුතු කළ අයයි.

ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට සහයෝගය දෙන සිවිල් සංවිධාන එකතුවෙන් සැදුම් ලත් ‘ජාතික ජන බලවේගයේ’ ඔවුන්ගේ ජනාධිපති ධූර අපේක්ෂකයා වශයෙන් අගෝස්තු 18 වෙනිදා අනුර කුමාර දිසානායක නම් කරනු ලැබිණි. ඒ ගෝල්ෆේස් පිටියේ පැවතී එම බලවේගයේ රැළිය අතර තුරදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ ඉන් අනතුරුව පත් වූ  නායක සෝමවංශ අමරසිංහගෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස 2014 පෙබරවාරි සිට කටයුතු කරයි අයයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනධිපති ධූර අපේක්ෂකයා ලෙස සැප්තැම්බර් 9 වෙනිදා දුමින්ද නාගමුව නම් කළේය. ඔහු මිට පෙර සන්ධානයකින් 2015 ජනාධිපතිවරණයට ද තරග වැදුනි. නාගමුව මේ වනවිට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

තවත් දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය හෝ එයත් ඇතුලත් එක්සත් ජාතික පෙරමුණ මෙතෙක් තම ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කර නොමැත. එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසූරිය තිදෙනාම පක්ෂයේ අපේක්ෂකත්වය අපේක්ෂා කරන බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ 1999 සහ 2005 වසර වලදී ජනාධිපති ධූරය සඳහා තරග කර තිබේ.

මෙවර ද, ඊට තරග කරන බව ඔහු පවසයි. සජිත් ප්‍රේමදාස පවසන්නේ ඔහු කෙසේ හෝ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. ඔහුට මංගල සමරවීර, මලික් සමරවික්‍රම, හරීන් ප්‍රනාන්දු, සහ පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරු ඇතුළු පිරිසක් සහය පළ කරති.

ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන ලෙස තමන්ට ද ඉල්ලීම් ඉදිරිපත් වන බව පවසමින් කතානායක කරු ජයසූරිය අඟහරුවාදා (සැප්තැම්බර් 17) නිවේදනයක් නිකුත් කළේය. පක්ෂයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් තරඟ කිරීමට සූදානම් බව කතානායකවරයා මීට ඉහතදී ද පවසා තිබිණි.

වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇතිද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා මැතිවරණ කොමිසමට දන්වා තිබුණේ තම පක්ෂය ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here