පුවත්

නිශ්ශංක සේනාධිපති ඇතුළු 13කට ඉතිහාසයේ වැඩිම අධිචෝදනා

(රවී වික්‍රමාරච්චි)
රටින් පලා ගොස් සිටින ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද (10) කොළඹ, විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

ඇවන්ගාඩ් නෞකාව තුළ නීතිවිරෝධි අන්දමින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් නීතිවිරෝධී ලෙස ගිනි අවි සහ ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීම ඇතුළු අධි චෝදනා 7573ක් යටතේ ගොනු කර ඇත.
මෙම නඩුව ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ප්‍රමාණයක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව ලෙස ද සැලකෙයි.

2014 වසරේ අප්‍රේල් මස 07 වැනිදා සිට 2015 වසරේ ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළ ගාලු වරායට නුදුරු මුහුදේ ඇවන්ගාඩ් නැමති නෞකාව තුළ නීති විරෝධී ලෙස ස්වංක්‍රීය ගිනි අවි 816ක් , ජීව උණ්ඩ දෙලක්ෂ 935 සහිත අවි ගබඩාවක් පවත්වාගෙන යාම මගින් විත්තිකරුවන් වරදක් කර ඇති බව නීතිපතිවරයා මෙම නඩුව පවරමින් සඳහන් කර තිබේ.

රත්නා ලංකා සමාගම හා ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

මෙහි නම් සඳහන් ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න යන දෙදෙනාම රටින් පලා ගොස් සැඟවී සිටින අතර සුජාතා දමයන්ති ජයරත්න විදේශගතව ඇත්තේ රාජ්‍ය සේවයේ සිටියදී නීති විරෝධී ලෙසය.

ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට ඇප ලබාදීමේදී අධිකරණය භාරයේ රඳවාගෙන තිබූ ඔහුගේ විදේස් ගමන් බලපත්‍රය මුදා හරින ලද්දේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාව සිටි සමයේ වන අතර මෙම විදේස් ගමන් බලපත්‍රය මුදා හැර ඇත්තේ විජේදාස රාජපක්ෂගේ සෘජු මැදිහත්වීම මත බව පසුව ප්‍රසිද්ධියට පත්විය.

එලෙස නඩු පවරනු ලැබ ඇත්තේ

මෙලෙස නඩු පවරනු ලැබ ඇත්තේ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති,

රත්නා ලංකා සමාගමේ සභාපතිවරයෙක් ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු,

එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙල,

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් දිසානායක,

එම නෞකාවේ කපිතාන් වන යුක්රේන් ජාතික ඩෙනඩි ග්‍රැබ්රෝ රැබ්ලිරෝ,

රත්නා ලංකා සමාගමේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ වික්ටර් සමරවීර,

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න,

දොන් අල්පස් තිලකරත්න,

විසුරුජිත් නන්දන ලියනගේ,

නිරුපුල් ද කොස්තා,

පොන්නතුරේ බාලසුබ්‍රමනියම් හේමචන්ද්‍ර යන පිරිසයි.

Tags

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close