එතෙර

කඹයකින් බැඳි, කළු තරුණයාගේ ඡායාරූපය සත්‍යයක් !

(ශාලික විමලසේන)

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ, අශ්වයන් පිට නැගුනු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් කළු ජාතික තරුණයෙකු කඹයකින් බැඳ රැගෙන යන ඡායාරුපයක් මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ. මෙය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවකි.

පොලිසිය සමාව ඉල්ලයි

මෙය ඇමරිකානුවන් තුළ ඇති වහල්හිමි මානසිකත්වය, වර්ගවාදය මෙන්ම හිංසනයට ඇති කැමැත්ත පිළිඹිබු කරන බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි. අප්‍රිකාව සහ ඇමරිකාව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මේ ඡායාරුපය සත්‍ය එකක් බව ටෙක්සාස් පොලිසිය පිළිගෙන තිබේ. ටෙක්සාස්
ප්‍රාන්තයේ ගැල්වෙස්ටන් නගරයේ පොලිස් ප්‍රධානි වර්නන් හේල් මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත.

බරපතළ අපහාසයක්

ඩොනල්ඩ් නීලි නම් මෙම කළු ජාතිකයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවසර ගෙන ඇතුළු විය යුතු ස්ථානයකට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනාවට ය. පොලිස් ප්‍රධානියා පවසන්නේ ඔහුව පොලිස් රථයකින් රැගෙන ආ යුතු වුවද, කුමක් හෝ හේතුවක් මත අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා මෙසේ ඔහුට බරපතළ ලෙස අපහාස කර ඇති බවයි.
නීලිව කඹයෙන් බැඳ, ඇලපත ප්‍රදේශයට අනිමින් පොලිස් නිලධාරීන් දෙදෙනා ජනතාව අතරින් ඔහුව පොලිස් ස්ථානය දක්වාම රැගෙන විත් තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේ මෙම සිදුවීම සිදු වී ඇත. පොලිස් ප්‍රධානියා මේ සම්බන්ධයෙන් තමන්ගේ සමාව ඉල්ලීමේ නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඊයේ (06) දින ය. නීලිව මේ වන විට ඇප මත මුදා හැර තිබේ.

නැවත වෙන්නේ නෑ !

ටෙක්සාස්හි ඩේලි නිවුස් පුවත්පතට අදහස් දක්වමින් පොලිස් ප්‍රධානියා පවසා තිබුණේ මේ හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට වූ හානිය සම්බන්ධයෙන් තම නිලධාරීන් දැනුවත් කළ බවත්, නැවත එසේ නොවීමට වගබලා ගන්නා බවත් ය.

ඇමරිකාව යන්නේ කොහෙද ?

කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික අංශද පෙන්වා දෙන්නේ මෙය බරපතළ කරුණක් බවත්, පොලිස් ප්‍රධානියා තමන්ගේ නිවේදනය මගින් එය සුළු කොට දක්වා ඇති බවත් ය. ස්ටන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ මාර්ටින් ලුතර් කින්ග් පර්යේෂණ සහ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ක්ලේබෝර්න් කාර්සන් පෙන්වා දෙන්නේ මෙය පොලිසියේ පුහුණුවේ ප්‍රශ්නයක් හෝ අදාළ නිලධාරීන් දෙදෙනාගේ ප්‍රශ්නයක් පමණක් නොවන බවයි. නැවතත් ඇමරිකාව සීග්‍රයෙන් වර්ගවාදයට මෙන්ම වහල්හිමි මානසිකත්වයට තල්ලු වෙමින් පවතින බවත්, කළු ජාතිකයන්ට ඉතිහාසය පුරා ඇමරිකානු සුදු ජාතිකයන් සැලකූ ආකාරය කිසිවෙකුට අමතක වී නැති බවත් ඔහු අවධාරණය කර සිටී.

දින 03 කට පෙර උදාහරණය

මේ අතර පසුගිය 04 දා ‘කලම්බු ට්‍රස්ට්’ වෙබ් අඩවිය වාර්තා කළේ කළු ජාතිකයෙකුගේ ඝාතනයට සම්බන්ධ සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට වසර පහක් ගත වී ඇති බවයි.

සම්පුර්ණ පුවත

2014 වසරේ ජූලි 17 දා නිරායුධ කළු ජාතිකයෙකුට අමානුෂික ලෙස පහර දී, වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇමරිකාවේ, නිවුයෝර්ක් නුවර පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවා ඇත.

මෙම අපරාධයට අදාළ ව ඔහුගේ සේවය අත්හිටුවීමේ තීරණය ගැනීමට වසර පහක් ගත වීම විශේෂත්වයකි. එරික් ගාර්නර් නම් කළු ජාතිකයාව මෙසේ ඝාතනය කර තිබුණේ නිවුයෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි ඩැනියෙල් පැන්ටලියෝ විසිනි. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ දෙපාර්තමේන්තුවේ පරිපාලන විනිසුරු රෝස්මාරි මෑල්ඩෝන්ඩෝ විසින් මෙම නියෝගය ලබා දී තිබේ. දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජේම්ස් ඕනේල් මාධ්‍යයට පවසා තිබුණේ ඔහුගේ සේවය අත්හිටුවීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති බවයි.

නිවුයෝර්ක් නගරයේ නගරාධිපති බිල් ඩි බ්ලේසියෝ නගර ශාලාවේදී මාධ්‍ය අමතමින් සදහන් කර තිබුණේ අවසානයේදී යුක්තිය සහ වගවීම පිළිබදව වන වැදගත් පියවරක් තැබීමට තම නගරයට හැකි වීම ජයග්‍රහණයක් බවයි.

2014 දෙසැම්බර් මාසයේදී ගාර්නර්ගේ මරණය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙමින් නිවුයෝර්ක් හි අධිකරණයක් සදහන් කර තිබුණේ එය ඝාතනයක් ලෙස පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. එසේම ගාර්නර්ට හදවත් රෝගී තත්වයක් මෙන්ම ඇදුම රෝගයද තිබී ඇති බවත්, එය මෙම මරණයට හේතු වන්නට ඇති බවත් ය.

මෙම තීන්දුව සම්බන්ධයෙන් ගාර්නර්ගේ පවුලේ සමීපතමයන් විසින් ඇමරිකාවේ යුක්තිය පිළිබද දෙපාර්තමේන්තුවට අභියාචනා කර තිබිණි. එම අභියාචනය සලකා බැලීමෙන් පසු අදාළ දෙපාර්තමේන්තුව සදහන් කර තිබුණේ නිවුයෝර්ක් අධිකරණ තීන්දුව ගාර්නර්ට සහ පවුලට කළ බරපතළ අපහාසයක් බවයි.

Tags

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close